ඔබ සිටින්නේ : අප ගැන සභාපති

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

සභාපති

 

Senior Prof. Sampath Amaratunge

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග

දූරදර්ශී ආයතන ගොඩනගන්නෙකු, තීක්ෂණ විශ්වවිද්‍යාල පරිපාලකයෙකු, අධ්‍යාපන විශිෂ්ඨයෙකු, කීර්තිමත් ව්‍යාපාරික උපදේශකයෙකු සහ මානව හිතවාදියෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස 2020 ජනවාරි 03 වන දින සිට පත් කරන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, සාගා ජාතික විශ්වවිද්‍යාලයෙන් ග්‍රාමීය සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය සහ ජපානයේ කගෝෂිමා ජාතික විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති මහාචාර්ය අමරතුංග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි වසර 30කට ආසන්න සේවා කාලයක් සම්පුර්ණ කර ඇත. ග්‍රාමීය ආර්ථික සංවර්ධනය පිළිබඳ විශේෂඥයෙක් වන මහාචාර්ය අමරතුංග ජපානයේ ක්‍යුෂු ග්‍රාමීය ආර්ථික විද්‍යා සංගමයේ කීර්තිමත් පර්යේෂණ විශිෂ්ටතා සම්මානය (2002) ඇතුළු සම්මාන රාශියක් ද දිනාගෙන ඇත. එමෙන්ම දේශීයව සහ ජාත්‍යන්තරව නිර්දේශිත ප්‍රකාශන 75කට අධික ප්‍රමාණයකට ඔහු හිමිකම් කියයි.

2021 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ජපාන අධිරාජයා විසින් පිරිනමන “The Order of the Rising Sun, Gold Rays with Neck Ribbon” යන සම්මානයට ද පාත්‍ර විය. Order of the Rising Sun යනු 1875 දී මෙයිජි අධිරාජ්‍යයා විසින් පිහිටුවන ලද ජපන් ආඥාවක් වන අතර එය ජපානය සමඟ මිත්‍ර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට දායකත්වයක් සපයන විදේශිකයන්ට පිරිනමන සම්මානයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස දෙවරක්ම පත් වූ මහාචාර්ය අමරතුංග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය නංවාලීමට විශාල දායකත්වයක් ලබාදී ඇත. තාක්ෂණ පීඨය, ඉංජිනේරු පීඨය සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨය යන නව පීඨ තුන ආරම්භ කිරීමේ ගෞරවය ඔහුට හිමිවන අතර නාගරික හා ජලජ ජෛව සම්පත් පීඨය නිර්මාණය කිරීමට මුල්ගල තැබීමට ද ඔහු පුරෝගාමී විය.

ඔහු පර්යේෂණ සැලකුවේ ජාතියේ ධාවක බලය ලෙසිනි. ඒ අනුව, ඔහු පර්යේෂණ කමිටුව පර්යේෂණ මධ්‍යස්ථාන 25කට පහසුකම් සැලසෙන පරිදි පර්යේෂණ කවුන්සිලයක් දක්වා උසස් කිරීමට කටයුතු කරන ලදී. මහාචාර්ය අමරතුංගයන්ගේ ප්‍රථම නිල කාලය ද වැදගත් වන්නේ හඳුන්වා දෙන ලද පර්යේෂණ මුල් පිරීම් හේතුවෙනි. රු.මිලියන 400 කට අධික අරමුදල් පදනමක් ඇතිව අලුතින් පිහිටුවන ලද පර්යේෂණ කවුන්සිලය හරහා ආරම්භ කරන ලද පර්යේෂණ ප්‍රයත්නයන්, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අදාළ ව්‍යාපෘති සඳහා යොමු කරන ලදී. තවද, මෙම කාලසීමාව තුළදී ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම, නව තාක්ෂණය හඳුන්වාදීම සහ උපාය මාර්ගික සබඳතා යන ක්ෂේත්‍රවල විශාල සංවර්ධනයක් ද දක්නට ලැබුණි.

තවද, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොල අතර ඇති වෙනස හඳුනාගත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමරතුංග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය ආරම්භ කළේය. මෙම මුලපිරීම මඟින් නවෝත්පාදන සහ ව්‍යාපාරවල නිරත වීමට සිසුන් සහ කාර්ය මණ්ඩලය දිරිමත් කළේය. මේ වන විට විශ්වවිද්‍යාලය සතුව ලියාපදිංචි සමාගම් 50කට ආසන්න ප්‍රමාණයක් කවුන්සිලය යටතේ ක්‍රියාත්මක වේ. තවද, මෙම කවුන්සිලය මඟින් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියේ මූලික පියවර සිදු කරන අතර පේටන්ට් බලපත්‍ර 15කට වඩා හිමි කර ගෙන ඇත. 2019 වර්ෂයේ දී ඔහු විශ්වවිද්‍යාලයේ 60 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් BMICH හි නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනය ආරම්භ කළේය. මෙම ප්‍රදර්ශනය මගින් දක්ෂතා, නවෝත්පාදන සහ ව්‍යාපාර පිළිබඳව මහජනතාව දැනුවත් කළ අතර එමඟින් කර්මාන්ත, මහජනතාව සහ සිසුන් අතර ඇති පරතරය පියවීය. මෙම ප්‍රදර්ශනය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුලික අංගයක් බවට පත්ව ඇත.

උපකුලපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ 2019 වර්ෂය සඳහා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු තේරී පත්විය. තවද, එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ II වන කොට්ඨාශය යටතේ ඇති රටවල් නියෝජනය කරන නියෝජිතයෙකු ලෙස ද ඔහු තේරී පත්විය.

උපකුලපතිවරයෙකු වශයෙන් සිසුන් සමඟ ගනුදෙනු කිරීමේදී මහාචාර්ය අමරතුංග අනුගමනය කරන්නේ අද්විතීය සහ අසමසම ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමවේදයකි. මිනිසුන් සම්බන්ධයෙන් සහ අනෙකුත් කටයුතුවලදී ඔහු දක්වන මානුෂීය ප්‍රවේශය හේතුවෙන් අධ්‍යයන හා අනධ්‍යයන ප්‍රජාව ඔහුට එකසේ ආදරය කළහ. ඔහු විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ බොහෝ ගෞරවාදරයට පාත්‍ර වූ අතර බොහෝ දෙනකුට උපදේශකයකු මෙන්ම ආදර්ශයක්ද විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත්වීමට පෙර ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපති (2008-2014) ලෙස කටයුතු කරන ලදී.

ඔහුගේ දායකත්වය සහ ජයග්‍රහණ දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පිළිගෙන ඇත. 2017 වසරේ දී මැලේසියාවේ ධර්ම බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධියක් පිරිනමන ලද අතර, ජාතියට සහ බෞද්ධාගමට කළ සේවය වෙනුවෙන් 2018 දී වසරේ පිරිනමන ලද ‘විද්‍යෝදය ධර්මශාස්ත‍්‍ර විභූෂණ’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ එකම උපකුලපතිවරයා බවට ද ඔහු පත්විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය, පරිපාලනය වෙනුවෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ හිටපු පීඨාධිපතිවරයා වශයෙන් ඔහුගේ දැක්ම, දූරදර්ශී නායකත්වය සහ කැපවීම අගයමින් 2018 සැප්තැම්බර් මාසයේදී සීපීඑම් කළමනාකරණ නායකත්ව සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.

මහාචාර්ය අමරතුංග බොහෝ ක්ෂේත්‍රවල ප්‍රායෝගික බුද්ධිමතෙකි. සහෝදර සංගම් පිහිටුවීම, ආචාර්යවරුන් සඳහා පර්යේෂණ ප්‍රදාන යෝජනා ක්‍රමයක් පිහිටුවීම සහ ඔවුන්ගේ දරුවන් සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් සැකසීම වැනි කැපී පෙනෙන ජයග්‍රහණවලින් පිරුණු කාලපරිච්ඡේදයක, ඔහු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) සභාපතිවරයා ලෙස ද (2009 - 2012) විශිෂ්ට සේවයක් ඉටු කළේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට (2010) පත් වූ ලාබාලතම කොමිෂන් සභා සාමාජිකයා වීමේ ගෞරවය හිමිකරගත් මහාචාර්ය අමරතුංග වැදගත් රාජ්‍ය කොමිෂන් සභා කිහිපයක ප්‍රධාන තනතුරු ද දැරීය. මීට අමතරව, අධ්‍යයන සේවයට පමණක් සීමා නොවී, ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස ප්‍රමුඛ ආයතන කිහිපයක ම කළමනාකරණ මණ්ඩලවල ද ඔහු කටයුතු කරමින් සිටි.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරන කාලයේ සිටම දක්ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු සිය උපාධි අධ්‍යාපනය ලබන සමයේ දක්ෂතම ක්‍රීඩකයා (ක්‍රිකට්) සහ වර්ණ වීරයා බවට පත් වූ අතර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා සංගමයේ සභාපති (2009 -2010) ලෙස ද පසුව කටයුතු කළේය. මහාචාර්ය අමරතුංග සිය වෘත්තීය ජීවිතය තුළ පෙන්නුම් කළ සාධාරණත්වය, සමානාත්මතාවය හා සහෝදරත්වය සහ ක්‍රීඩාශීලිත්වය හා බැඳුණු ගුණාංග සුළුපටු නොවේ. ඔහු උපකුලපතිවරයා ලෙස කටයුතු කරන කාලය තුළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2014 සිට 2017 දක්වා අඛණ්ඩව වසර තුනක් අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ ශූරයන් බවට පත්වීම ද සුවිශේෂී මෙන්ම අහඹු සිදුවීමකි.

මහාචාර්ය අමරතුංග උපකුලපතිවරයා ලෙස සිය පළමු ධූර කාලය තුළ අභිලාෂකාමී ව්‍යාපෘති රැසක ආයෝජනයන් සිදු කර ඇති අතර, ඒවායේ ප්‍රතිලාභ ලබා ගැනීමට ද වාසනාවන්ත විය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස සිය වත්මන් ධූර කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත උසස් අධ්‍යාපන ක්‍රමයේ දියුණුව සඳහා අඛණ්ඩව කටයතු කිරීමට ඔහු අපේක්ෂා කරයි.

 

Chairman's Events Gallery